3.අම්බට්ඨ සූත්‍රය.
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සංඝයා වහන්සේ සමග කොසොල් රටෙහි ඇවිදීමෙන් හැසිරෙන සේක. කොසොල් රට වැස්සන්ගේ ඉච්ජානඞගල නම් බමුණුගම යම් තැනෙක්හිද එහි වැඩියේය. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ජානඞගල වනයෙහි වාසය කෙළේය. එකල පොක්ඛරසාති බමුණු තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා බොහෝ සතුන්ගෙන් ගහනවූ, තණ, දැවදඬු, දිය හා ධාන්‍ය ඇත්තාවූ, රජුන්ගෙන් ලබන ලද්දාවූ පසේ නදී කොසොල් රජු විසින් දුන් හෙයින් රාජ දායාදයක්වූ උතුම් කොට දෙන ලද්දක්වූ උක්කට්ඨා නුවර වෙසෙයි.
2. එකල්හි පොක්ඛරසාති බමුණු තෙමේ ( මේ පුවත ) ඇසී, ශාක්‍ය පුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණභවත් ගෞතමයන් වහන්සේ වූකලී පන්සියයක් පමණවූ මහා භික්ෂු සමූහටක් සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන සේක් ඉච්ජානඞගලයට පැමිණ ඉච්ජානඞගල වනයෙහි වාසය කරයි. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳුවූ මනොඥවූ ස්තුති ඝෝෂාවක් උස්ව නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කාරණයෙන්ද අරහත්ය, සම්‍යක් සම්බුද්ධයහ. විදර්ශනාඥානය ආදී ඥාන අටෙන්ද සීල සංවරය ආදී ( චරණ ) හසුරුවන ධර්ම පහළොවෙන්ද යුක්තහ. යහපත් ගති ඇත්තාවූහ, සියලු ලෝකයන් දන්නාහ. ශ්‍රෙෂ්ඨයහ. හික්මවිය යුතු පුරුෂයන් දමනය කිරීමෙහි රියදුරෙකු වැනිවුහ. දිව්‍ය මනුෂ්‍යයන්ට ගුරුවරයෙක් වූහ. බුද්ධයහ, භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන වහන්සේ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බඹුන් සහිතවූ, රජුන් හා මිනිසුන් සහිතවූ සත්ව වර්ගයා ඇතුළු සියලු ලෝකය තමන් වහන්සේම මනාව පැහැදිලි කොට දැන ප්‍රකාශ කරණ සේක. උන්වහන්සේම මුල මැද අග යන තුන්තන්හි යහපත්වූ අර්ථ සහිතවූ, දස ආකාරයෙන් නියම විදියට වචන ශබ්ද කිරීම ඇත්තාවූ සම්පූර්ණවූ, පිරිසිදුවූ ධර්මානුශාසනාව ප්‍රකාශ කරණ සේක. එබඳුවූ, රහතුන්ගේ දැකීමක් වේනම් ඒ යහපත්මැයි කියායි.
3. එකල පොක්ඛරසාති බමුණුහට සිටි අම්බට්ඨ නම් තරුණ ශිෂ්‍යයා ( තමා වෙතින් ) මන්ත්‍ර කට පාඩමේ කියන්නාවූ, වේදමන්ත්‍ර දන්නාවූ, නාමනිඝණ්ටු යාග ආදී කටයුතු පිළිවෙළ ශික්ෂා නිරුක්ති නම් වේදයෙහි කොටස යන ප්රභෙයන් ඇති, ඉතිහාසය පස්වැනි කොට ඇති වේදත්රයයේ කෙළවරට ගියාවූ පද හා ව්‍යාකරණ කට පාඩමේ කියන්නාවූ, විතණ්ඩ ශාස්ත්‍රයෙත් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේත් අති දක්ෂවූ, යමක් මෙ දනිම් නම් එය නුඹත් දනී. නුඹ යමක් දනී නම් එයම මමත් දනිමි´´ යන ගුරුන්ගේ ප්‍රකාශයට ´´එසේමය´´යි උත්තර දුන් ආචාර්යයන්ගේ ත්රිවේදය පිළිබඳ ධර්මයෙහි සියල්ල දත්තා විය.
4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙමේ අම්බට්ඨ තරුණයා කැඳවා මෙසේ කීය. ´´දරුව අම්බට්ඨය, යව ශාක්‍ය පුත්රවූශාක්ය කුලයෙන් නික්ම පැවිදිවූ, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පන්සියයක් පමණවූ මහා භික්ෂු සමූහයක් සමග කොසල ජනපදයෙහි ඇවිදිමින් හැසිරෙන සේක්. ඉච්ජානඞගලයට පැමිණි ඉච්ජානඞගල වනාන්තරයෙහි වාසය කරයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ යහපත් කීර්ති රාවයක් උස්ව නැංගේය. මේ මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත්හ, සම්‍යක් සම්බුද්ධය, සර්ව සම්පූර්ණවූ පිරිසිදුවූ බ්රහ්මචය්ර්යව ප්‍රකාශ කරයි. එබඳුවූ රහතුන්ගේ දැකීමක් වේනම් යහපත්මැයි´´ කියායි. ´´දරුව අම්බට්ඨය, එව නුඹ මහණ ගොයුම්හු යම් තැනෙක්හි නම් එහි යව ගොස් ඉදින් ඒ භවත් ගෞතමයන්ගේ ඇති සැටියක් නිසාම කීර්ති ශබ්ධයක් පැතිර ගියේද නොවේ නම් එසේ නුවූවක් පිලිබඳවද උන්වහන්සේ එබඳුද නැත්නම් එබඳු නොවේදැයි, එපරිද්දෙන් ශ්‍රමණ ගෞතමයන් දනුව අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගනුම්හ.´´
5. ´´පින්වත ඉදින් ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුද, ඉදින් එසේ නොවේදැයි මම කෙසේ නම් දැනගන්නෙම්ද?´´
6. ´´දරුව අම්බට්ඨය, අපගේ වේද මන්ත්‍රයන්හි දෙතිස් මහපුරිස් ලකුණු සඳහන්වේමය. ඒ ලක්ෂණයන්ගෙන් යුක්තවූ මහා පුරුෂහට ගති දෙකෙක්ම වෙති. අනිකෙක් නැත. ඉදින් ගිහිගෙයි වසයි නම් ධාර්මිකවූ ධර්මරජෙක්වූ හතර දීපයට අධිපතිවූ, සක්විති රජවෙයි. හෙතෙමේ සයුර කෙළවර කොටඇති මේ පෘථිවිය දඬුවම් කිරීම් නැතුව යුද්ධ කිරීම් නැතුව ධර්මයෙන් දිනා අධිපතිව වෙසෙයි.
´´ඉදින් හෙතෙම ගිහිගෙන් නික්මී අනගාරියවු ශාසනයේ පැවිදි වෙයි නම් ලෝකයේ කෙලෙස් වලින් යුත් ඝන අන්ධකාර වැස්ම දුරු කළාවූ අරහත්වූ සම්‍යක් සම්බුද්ධ වෙයි. දරුව අම්බට්ඨය, මම වනාහි වෙද මන්ත්‍ර උගන්වන්නා වෙමි. නුඹ වෙද මන්ත්රයන් කට පාඩමෙන් කියන්නා වෙයි.´´
´´එසේය ස්වාමිනි´´යි අම්බට්ඨ මාණවකයා උත්තරදී, ගොස් වෙළඹුන යෙදූ රථයකට නැගී බොහෝ තරුණයන් සමග ඉච්ජානඞගල වනාන්තරය ´´යම් තැනෙක්හි නම් එහි පිටත්ව ගියේය. රථයෙන් යාහැකි බිම යම්තාක්නම් ඒතාක් රථයෙන් ගොස් රථයෙන් බැස පයින්ම ආරාමයට ඇතුළුවූයේය.
7. එකල බොහෝ භික්ෂුහු එලිමහනේ සක්මන් කරති. අම්බට්ඨ නම් තරුණයා ඒ භික්ෂුන් වෙත ළඟා වූයේය. එළඹ ඒ මහණහුට මෙසේ කීය.
´´පින්වත්නි, භගවද් ගෞතම තෙමේ දැන් කොතැන්හි නම් වාසය කරයිද? අපි ඒ භගවත් ගෞතමයන් දැකීම පිණිස මෙහි පැමිණියෝ වෙමු´´
8. එකල ඒ භික්ෂුන්ට මෙබඳු සිතක් පහළ විය. ´´මේ අම්බට්ඨ මාණවක තෙමේ ප්‍රසිද්ධ කුලයේඋපන්නේම ප්‍රකටවූ පොක්ඛරසාති බමුණුහට අතවැසිද වෙයි. මෙබඳු කුල පුත්රයන සමඟ කරන කථා බස භාග්‍යවතුන් වහන්සේට බරක් නොවේමය´´ යනුයි. ඒ භික්ෂුහු අම්බට්ඨ මානවකයා හට මෙසේ කීහ – ´´අම්බටඨය, එතැන ගනධකුටිය වසනලද දොර ඇත්තේය. ශබ්ද නොකොට එහි ගොස් සෙමින් පිලට ඇතුළුව කාරා අගුළ නිය පිටින් තට්ටු කරව, නුඹට භාග්‍යවතුන් වහන්සේ දොර හරිනවා ඇත.´´
9. එවිට අම්බට්ඨ මාණවක තෙමේ එහි ශබ්ද නොකර පැමිණියේ සෙමින් පිලට ඇතුළුව, කාරා අගුළ නිය පිටින් තට්ටු කෙළේය. භාග්‍යවතුන් වහන්සේ දොර හැරියේය. අම්බට්ඨ නම් තරුණයා ඇතුළුවූයේය. සෙසු තරුණයෝත් ඇතුළුව භාග්‍යවතුන් වහන්සේ සමග සුවදුක් විචාරීම් ආදියෙන් සතුටුවූහ. ඔවුහු සන්තෝෂ ගෙනදෙන සිහිකටයුතු කථාවන් කොට නිමවා එකත්පසෙක හුන්හ. අම්බට්ඨ නම් තරුණයා සක්මන් කරමිනුත් වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමග ස්වල්ප කථාවන් කරයි. නැවතී සිටිමිනුත් වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සමග යම් යම් සුළු කථාවන් කරයි. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය, ´´අම්බට්ඨය´´ ඔබ යම් සක්මන් කරමිනුත් නැවතී සිටිමිනුත් හුන්නාවූ මා සමග යම් යම් නොවැදගත් කරුණු කථාව කරයිද, වයසින් වැඩිවූ මහලුවූ බ්‍රාහ්මණයන් හා ගුරුවරුන්, ගුරුවරුන්ගේ ගුරුවරුන් සමග ඔබගේ කථාවමෙබඳු වේද?
´´නැත, භවත් ගෞතමය, යන්නාවූ බමුණු තෙමේ යන්නාවූ බමුණකු සමග කථා කරන්ට සුදුසුය. භවත් ගෞතමය, සිටින්නාවූ බමුණු තෙමේ සිටින්නාවූ බමුණකු සමග කථා කරන්නට සුදුසුය. භවත් ගෞතමය, හිඳින්නාවූ බමුණු තෙමේ හිඳින්නාවූ බමුණකු සමග කථා කරන්නට සුදුසුය. භවත් ගෞතමය, නිදන්නාවූ බමුණු තෙමේ නිදන්නාවූ බමුණකු සමග කථා කරන්නට සුදුසුය. එහෙත්, භවත් ගෞතමය, පිළිකුල් කටයුතුවූ, මුඩුවූ ශ්‍රමණවූ දාසභාවයෙහි පිහිටි, කළුපාටවූ, බ්‍රහ්මයාගේ පතුලින් උපන් පෙළපතක් ඇත්තාවූ යම් කෙනෙක් වෙද්ද, ඔවුන් සමග මාගේ කථාකිරීම වූකලී භවත් ගෞතමයන් සමග මාගේ කථාකිරීම යම්සේද එවැනිය.´´
11. ´´අම්බට්ඨය, වැඩක් ඇතිවම ඔබගේ මෙහි පැමිණීම විය. යම් ප්‍රයෝජනයක් පිණිස ආයේ නම් ඒ කාරණයම හොඳින් කල්පනා කරව.
´´පින්වත්නි, මේ අම්බට්ඨ තරුණයා ගුරු ආශ්‍රයක නොවිසූවෙකි, නොවැඩුනෙකි. නමුත් එසේ විසූයේය, වැඩුනේයයි උඩඟු ඇත්තෙකි. මේ ගුරු ආශ්‍රයක නොවැඩුනු නොහික්මුණු නිසා මිස වෙන කවරක් නිසාද?
12. එකල භාග්‍යවතුන් වහන්සේ විසින් නොවැඩුනෙක නොහික්මුනෙක යන කථාවෙන් හඳුන්වන ලද අම්බට්ඨ තරුණයා කිපුණේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේටම ගටා බනින්නේ පහත් කොට කථා කරන්නේ නින්දා කරන්නේ, ´´මට නම් ශ්‍රමණ භවත් ගෞතමයාම පාපියෙක් වන්නේය´´යි මෙසේ කීය. ´´භවත් ගෞතමය, ශාක්‍ය ජාතිය චණ්ඩය, ඵරුෂය, නොගරුය වාචාලය, දාසියගේ දරුවෝ දාස ජනයාවූ බැවින් ඔව්හු බ්‍රාහ්මණයන්ට සත්කාර නොකෙරෙත්, ගරු නොකරෙත්, නම්බු නොකෙරෙත්, පූජා නොකෙරෙත්, නොවඳිත්. භවත් ගෞතමය, ඉඳින් මේ ශාක්‍යයෝ දාසවූවාහු දාස බැව්හි සිට බමුණන්ට සත්කාර නොකරත්ද ගරු නොකරත්ද, බුහුමන් නොකරත්ද, බමුණන් නොපුදද්ද, නොවඳිද්ද, ඒ මේ කාරණය මට රුචි නැත ඒ මේ කාරණය නුසුදුසුය,´´ මෙසේ අම්බට්ඨ තරුණයා ශාක්‍යයන් කෙරෙහි මේ ප්‍රථම දාස වාදය හෙලුයේය.
13. ´´කිමෙක්ද? අම්බට්ඨය, නුඹට ශාක්‍යයෝ අපරාධයක් කළාහුද?´´
´´භවත් ගෞතමය, මම එක් කලෙක මාගේ ගුරුවූ පොක්ඛරසාති බමුණාගේ යම් කටයුත්තක් හේතුකොට කපිල වස්තු නුවරට ගියෙමි. යම් තැනෙක ශාක්‍යයන්ගේ රැස්වී විවේක ගන්නා ශාලාව වේද එහි ගියෙමි. එකල බොහෝවූ ශාක්‍යයෝත් ශාක්‍ය කුමාරවරුත් ඒ රුස්වී විවේක ගන්නා ශාලාවෙහි මහා ආසනයන්හි ඔවුනොවුන් ඇඟිල්ලෙන් කිතිකැවීමෙන් මහත්සේ සිනාසෙන්නාහු, ඒකාන්තයෙන් මටම හෙලා දක්නාසේ හඞ නඟා සිනාසෙන්නාහු කිසිවෙක් මට ආසනයක්වත් නුදුන්නේය. භවත් ගෞතමය, ඉදින් මේ ශාක්‍යයෝ දාසයන්ව සිටිමින් බ්‍රාහ්මණයන්ට සත්කාර නොකරද්ද බ්‍රාහ්මණයන්ට ගරු නොකරද්ද, බ්‍රාහ්මණයන්ට නම්බු නොකරද්ද, බමුණන් නොපුදත්ද, වැඳුම් නොකරද්ද ඒ මේ කාරණය මට රුචි නැත, නුසුදුසුය.´´
මෙසේ අම්බට්ඨ තරුණයා ශාක්‍යයන් කෙරෙහි මේ දෙවැනි දාසවාදය හෙලූයේය.
14. ´´අම්බට්ඨය, කැටකිරිල්ලත් තමාගේ කූඩුවෙහි කැමති යමක් කියන්නීය. අම්බට්ඨය, යම් මේ කපිලවස්තු පුරයක් වෙයි නම් එය ශාක්‍යයන්ගේ ස්වකීය නුවර වේ. ආයුෂ ඇති අම්බට්ඨය, මෙවැනි සුළු කරුණකින් කිපෙන්නට නුසුදුසුය.´´
15. ´´භවත් ගෞතමය, මේ ජාති සතරෙකි, ක්ෂත්රියය බ්‍රාහ්මණය, වෛශ්‍යය, ශුද්‍රය කියායි. මේ ජාති සතරින් ක්ෂත්රිය, වෛශ්‍ය, ශුද්‍ර යන ජාති තුන ඒකාන්තයෙන්ම බ්‍රාහ්මණයාහට සේවකයෝ වෙත්, මේ ශාක්‍යයෝ දාසයන්ව සිටිමින් බ්‍රාහ්මණයන්ට සත්කාර ගරුකාර නොකරති. නම්බු කිරීම, පිදීම, වැඳීම නොකරති. භවත් ගෞතමය, ඒ මේ කාරණය මට රුචි නොවේ. ඒ කාරණය නුසුදුසුය.´´
මෙසේ අම්බට්ඨ තරුණයා ශාක්‍යයන් කෙරෙහි මේ තුන්වැනි දාසවාදයත් හෙලුයේය.
16. එවිට භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් විය. ´´ මේ අම්බට්ඨ තරුණයා ඉතා දැඩිසේම ශාක්‍යයන් කෙරෙහි දාස වාදයෙන් නින්දා කරයි. මම ( ඔහුගේ ) ගොත්‍රය විචාරන්නෙම් නම් ඉතා යෙහෙක´´ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය. ´´අම්බට්ඨය, නුඹ කවර ගොත්‍රයක වූයෙහිද?´´
´´භවත් ගෞතමය, මම කණ්හායන වෙමි´´
´´අම්බට්ඨය, පුරාණවූ මව්පියන්ට අයිති නාම ගොත්‍රය සිහි කරන්නාවූ නුඹගේ ස්වාමි පුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. නුඹ ශාක්‍යයන්ගේ දාසියගේ පුත්‍රයෙක් වූයෙහිය. අම්බට්ඨය, ශාක්‍යයෝ ඔක්කාක රජු ඔවුන්ගේ මුල් පුරුෂයා කොට දක්වති.
´´අම්බට්ඨය, පූර්වයේ ඔක්කාක රජු තමාට යම් ඒ බිසවක් ප්‍රිය මනාප වූවාද, ඇගේ පුත්‍ර කුමාරයාට රජය පවරා දෙනු කැමැත්තෙන් ඔක්කා මුඛය, කරකණ්ඩුය, හත්ථීනිකය, සිනිසුරය යන වැඩිමහලු කුමාරවරුන් රටින් පිටකෙළේය. ඒ රාජ කුමාරවරුන් රටින් පිටවූවාහු හිමාලය කඳු ප්‍රදේශයේ පොකුණු තෙර මහා වනාන්තරයක වාසය කළාහුය. ඔහු ජාතිය නැතිවේය යන බියෙන් සොහොයුරියන් සමග එක්ව විසීම කළාහුය.
´´අම්බට්ඨය එකල්හි, ඔක්කාක රජ තෙමේ අමාත්‍ය මණ්ඩලයෙන් ( මෙසේ ) ඇසීය. ´´ පින්වත්නි, දැන් කුමාරවරු කොහි වෙසෙත්ද?´´
´´දෙවයිනි, හිමාලය කඳු ප්‍රදේශයේ පොකුණු තීරයේ මහා වනාන්තරයක් ඇත. දැන් කුමාරවරු එහි වෙසෙති.
අම්බට්ඨය, එවිට ඔක්කාක රජු ප්‍රීතියෙන් කියන මේ වචන කීයේය. ´´භවත්නි, කුමාරවරු ඒකාන්තයෙන්(ශාක්‍යයෝයි) සමර්ථයෝයි. පින්වත්නි, කුමාරවරු ඒකාන්තයෙන්ම උත්තම ශාක්‍යයෝයි (සමර්ථයෝයි). අම්බට්ඨය, එතැන් පටන් ඔවුහු ශාක්‍ය නාමයෙන් හඳුන්වනු ලැබෙත්. ඒ ඔක්කාක රජු ශාක්‍යයන්ගේ මුල් පුරුෂයායි.
´´අම්බට්ඨය, ඔක්කාක රජුට දිසා නම් දාසියක් වූවාය. ඕ තොමෝ කෘෂ්ණ වර්ණවූ (කළුපාටවූ) පුත්‍රයකු ප්‍රසූත කළාය. උපන්නාවූ ඒ කෘෂ්ණ, මෑණියනි, මා සෝදනු මැනව, ඔබට උපකාරී වෙමි, කියා මහත්සේ ශබ්ද කෙළේය.
´´අම්බට්ඨය, යම්සේ දැන් මිනිස්සු පිශාචයන් දැක පිශාච නමින් හඳුනත්ද, එසේම අම්බට්ඨය, ඒ කාලයෙහි වනාහි මිනිස්සු පිශාචයන් කෘෂ්ණයන් නමින් හඳුනති. ඔව්හු මෙතෙම ´´උපන් විගස කථා කෙළේය, මේ උපන්නේ කෘෂ්ණයෙකු වේ, උපන්නේ පිශාචයෙකැයි´´ කීවාහුය.
´´අම්බට්ඨය, එතැන්පටන් කණ්හායනයෝ (කෘෂ්ණ ජාතිකයෝ) සඳහන් වෙත්. ඔහු කණ්හායනයන්ගේ මුල්පුරුෂයායි. අම්බට්ඨය, මෙසේ පුරාණ මව්පියන්ට අයිති නාම ගොත්‍රය සිහි කරන්නාවූ නුඹගේ ස්වාමීහු ශාක්‍යයෝ වෙති නුඹ ශාක්‍යයන්ගේ දාසියගේ පුතා වෙහි.´´
17. මෙසේ කී කල්හි ඒ මාණවකයෝ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය. ´´ භවත් ගෞතම තෙමේ ඉතා දැඩිසේ අම්බට්ඨ මාණවකයා දාසි පුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකෙරේවා අම්බට්ඨ මාණවක තෙමේ වංසවත්ය. උතුම් ගති ඇති පුතෙකි. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දන්නෙකි. යහපත් වචන ඇත්තෙකි. පණ්ඩිතය, අම්බට්ඨ තරුණ තෙමේ භවත් ගෞතමයන් සමග මේ වචනයෙහි ( දාසපුත්ර චොදනායෙහි ) පිළිතුරු දෙන්නට සමර්ථය.
18. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන්ට මෙසේ කීහ. ´´තරුණයෙනි, ඉදින් නුඹලාට අම්බට්ඨ තරුණයා වංශවත් නොවේය, පහත් ගති ඇති පුතෙකි, සුළු වශයෙන් ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි, නපුරු වචන ඇත්තේය, අපණ්ඩිතය, අම්බට්ඨ තෙමේ ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයේලා පිළිතුරු දෙන්නට අසමර්ථයැයි සිතේ නම් අම්බට්ඨ තරුණයා පැත්තකටවී සිටීවා. නුඹලා මා සමග මේ (දාසවාද) කථාවෙහි පිළිතුරු දෙව්. ඉදින් වනාහි තරුණයෙනි නුඹලාට ´´අම්බට්ඨ තරුණයා වංසවත්ය, උතුම් ගති ඇති පුතෙකි. බොහෝ ශිල්ප ශාස්ත්‍ර දත්තෙකි, යහපත් වචන ඇත්තේය, පණ්ඩිතය, ඔහු ශ්‍රමණ ගෞතමයන් සමග මේ වචනයෙහිලා පිළිතුරු කථා කරන්නට සමර්ථයයි සිතේ නම් නුඹලා පැත්තකට වී සිටිත්වා. අම්බට්ඨ තරුණයා මා හා පිළිතුරු කථා කෙරේවා.´´
19. ´´භවත් ගෞතමයිනි, අම්බට්ඨ තරුණයා උත්තර දෙන්නට සමර්ථය. අපි නිශ්ශබ්දවමු. අම්බට්ඨ තරුණයා භවත් ගෞතමයන් සමග මේ වචනයට පිළිතුරු දීම කෙරේවා.
20. එවිට භාග්‍යවතුන් වහන්සේඅම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය. ´´අම්බට්ඨය, නුඹ ඉදිරියෙහි කරුණු සහිතවූ ප්‍රශ්නයක් මතුවිය. නොකැමැත්තෙන් නමුදු ඒ විසඳිය යුතුය. ඉදින් නුඹ නොවිසඳන්නෙහි නම් වෙන කරුණකින් හෝ ඒ යටපත් කරන්නෙහි නම්, නිශ්ශබ්ද හෝ වන්නෙහි නම් නැගිට හෝ යන්නෙහිනම් මෙහිම නුඹගේ හිස සත් කඩව පැළෙන්නේය. අම්බට්ඨය, ඒ කුමකැයි හඟින්නෙහිද? කිම? වෘද්ධවූ, මහලුවූ, ආචාර්යවූ ප්‍රාචාර්යවූ බ්‍රාහ්මණයන්ගෙන් කණ්හායන ගොත්‍ර ඇත්තෝ කොතැන් සසිට පැවැත්තෝද, කණ්හායනයන්ගේ මුල් පුරුෂයා කවරෙක්දැයි කියනු ලබන්නෙක් නුඹ විසින් අසන ලදද?´´
මෙසේ කී කල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය. දෙවනුවත් එසේ ඇසූ කල අම්බට්ඨ තරුණයා නිශ්ශබ්ද විය. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය.
´´අම්බට්ඨය, දැන් ප්‍රකාශ කරව. නුඹට මේ නිශ්ශබ්ද වන්නට කාලය නොවේ. අම්බට්ඨය, යමෙක් වනාහි තථාගතයන් වහන්සේ තුන් වැනි වර තෙක් සහේතුක ප්‍රශ්නයක් අසන ලදුව උත්තර නොදේද, මෙහිදීම ඔහුගේ හිස සත් කඩක්ව පැළෙන්නේය.´´
21. එකල වජ්ජුපාණී යක්ෂ තෙමේ (සක්දෙව් රජතෙමේ) ගිනිපාටවූ, දිලිසෙන්නාවූ එකම ගිනිගොඩක් මෙන්වූ මහත්වූ යහුලක් ගෙණ, අම්බට්ඨ තරුණයාට කෙලින් ආකාශයෙහි සිටියේය. ´´මේ අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේ විසින් තුන්වැනි වර දක්වා ප්‍රශ්නයක් අසන ලදුව උත්තර නොදෙන්නේ නම් මෙහිදීම ඔහුගේ හිස සත්කඩ කොට පළමි´´ කියායි. ඒ වජ්ජුපාණි යක්ෂයා වනාහි භාග්‍යවතුන් වහන්සේත් දක්නා සේක. අම්බට්ඨ තරුණයාත් දකී. ඉක්බිති අම්බට්ඨ තරුණයා භයවී සංවේගයට පැමිණියේ මයිල් කෙලින්වී භාග්‍යවතුන් වහන්සේගේම ආරක්ෂාව සොයන්නේ, පිහිට සොයන්නේ, සරණ සොයන්නේ, ළඟට එළඹ නිවාසනයෙක්හි හිඳ මෙසේ කීය. ´´මේ කුමක් භවත් ගෞතමයන් වහන්සේ මට කී සේක්ද? භවත් ගෞතමයන් වහන්සේ නැවතත් කියන සේක්වා´´
´´අම්බට්ඨ, තෝ ඒ කුමකැයි හිතන්නෙහිද? කිම? වෘද්ධවූ, මහළුවූ, ආචාය්‍ර්‍ය, ප්රාචාය්ර්යවූ, බ්‍රාහ්මණයන් විසින් කණ්හායන ගෝත්‍රිකයෝ කොතැන් සිට පැවත්තෝද, කණ්හායනයන්ගේ මුල් පුරුෂයා කවරෙක්දැයි කියනු ලබන්නක් තා විසින් අසන ලදද?´´
´´භවත් ගෞතමයිනි, කංහායනයෝ මෙතැන් පටන් පැවතෙන්නෝය, අසවලා කණ්හායනයන්ගේ මුල් පුරුෂයායි, භවත් ගෞතමයන් වහන්සේ යම්ලෙස කීවේද, එලෙසින්ම මා විසින් අසන ලදි.´´
22. මෙසේ කී කල්හි ඒ තරුණයෝ ´´පින්වත්නි, අම්බට්ඨ තරුණයා වංශවත් නොවේ. පහත් ගති ඇති පුත්‍රයෙකි. ශාක්‍යයන්ගේ දාසියගේ පුත්‍රයාය. ශාක්‍යයෝ අම්බට්ඨ තරුණයාගේ ස්වාමි දරුවෝය. ධර්මවාතීවූ (ඇත්ත කියන්නාවූ) ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අපි විශ්වාස නොකොට යුත්තෙක් සේ සිතීමු´´යි උස් හඬින් ශබ්ද නගා කීහ.
23. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ´´ඉතා දරුණු සේ අම්බට්ඨ තරුණයාට මේ තරුණයෝ දාසි පුත්‍ර වාදයෙන් අවනම්බු කෙරෙත්. ඔහු එයින් මුදවන්නෙමි නම් යහපතැ´´යි කියාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තරුණයින්ට මෙසේ කීයේය. ´´තෙපි අම්බට්ඨ තරුණයාට මෙසේ ඉතා දරුණු සේ දාසි පුත්‍ර වාදයෙන් අවනම්බු නොකරව්. ඒ කෘෂ්ණ තෙම ශ්රේෂ්ටවූ ඎෂිවරයෙක් වූයේය. ඒ ඎෂි තෙමේ දකුණු දේශයට ගොස් බ්‍රහ්ම (වේද) මන්ත්‍ර උගෙණ ඔක්කාර රජු වෙත පැමිණ මද්දරූපී නම්වූ දූ කුමරිය ඉල්වී. ඔක්කාර රජතෙමේ ?´´බොල මේ කවරෙක්ද? මාගේ දාසියගේ පුතා මද්දරූපී නම්වූ දූ කුමරිය ඉල්ලන්නේයයි´´ කිපුනේ, නොසතුටු වූයේ විඳින්නට හීයක් යෙදුයේය. රජ තෙම ඒ හීය නිදහස් කරන්නට හෝ විදින්නට අසමර්ථ විය.
´´තරුණයිනි, එකල ඇමතියෝත් පිරිසෙහිවූ සෙස්සෝත් කෘෂ්ණ ඎෂිවරායා වෙත එළඹ මෙසේ කීවාහුය. ´´ස්වාමීනි, රජුට සැප වේවා (අනතුරක් නොවේවා), ස්වාමීනි, රජුට සැප වේවා´´ කියායි. ´´ඉතින් රජු පෘථිවියට හීය යවන්නේනම් රජුට යහපතක් වන්නේය. යම්තාක් දුර රජුගේ රාජ්යයවේද, ඒතාක් පෘථිවිය පැළෙන්නේය.´´
´´ස්වාමීනි, රජුටත් ජනපදයටත් යහපතක් වේවා´´
´´ඉතින් ජරතෙමේ හීය උඩට හරින්නේ නම් රජුට යහපතක් වන්නේය. යම්තාක් දුර රජුගේ රාජ්‍යයද ඒ තෙක් තැන් සත් අවුරුද්දක් වැසි නොවසින්නේය.´´
´´ස්වාමීනි, රජුටත් ජනපදයටත් යහපතක් වේවා, වැසිද වසීවා´´
´´රජුටත් ජනපදයටත් යහපතක් වන්නේය. වැසිද වසින්නේය. තවද, (තමාගේ) වැඩිමහලු කුමාරයා කෙරෙහි නැගූ හීය විදීවා. ඔහුට මයිල් කෙලින් සිටීම පමණකුත් නොවී කුමාර තෙමේ සුවපත් වන්නේය´´
´´තරුණයිනි, එකල අමාත්‍යයෝ ඔක්කාර රජුට මෙපවත් දැන්වූහ. ඉක්බිති ඔක්කාර රජු වැඩිමහලු කුමාරයා කෙරෙහි ඒ හීය යෙදුවේය. කුමාර තෙමේ සුවපත් විය. මයිල් ගසකට පවා හිංසාවක් නොවීය.´´
´´ඉක්බිති ඔක්කාර රජු ඔහුට භයවී, තැත් ගැන්මට පැමිණ, මයිල් කෙලින් සිටීම ඇතිවී සාපයෙන් භයට පත්වූයේ මද්දරූපී නම් දූ කුමරිය ඒ කෘෂ්ණ ඎෂි හට දුන්නේය. තරුණයිනි, තෙපි ඉතා දරුණු ලෙස අම්බට්ඨ මාණවකයාට දාසි පුත්‍ර වාදයෙන් නිග්‍රහ නොකරව්. ඒ කණ්හ තෙමේ ශ්‍රේෂ්ඨවූ ඎෂිවරයෙක් විය´´.
24. එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයාට මෙසේ කීයේය.
´´අම්බට්ඨ, මේ ලෝකයෙහි ක්ෂත්රිය කුමාරයෙක් බ්‍රාහ්මණ ස්ත්‍රියක් සමග සහවාසය කරන්නේය. ඔවුන්ට පුත්‍රයෙක් උපදින්නේය. ක්ෂත්රිය කුමාරයෙකු කරණකොට බ්‍රාහ්මණ කන්‍යාවගෙන් උපන් ය ඒ පුත්‍රයෙක් වේ නම් ඔහු බ්‍රාහ්මණයන් අතුරෙන් අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබයිද? බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද? ඔහුට මන්ත්‍ර උගන්වත්ද? ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලබාගත හැකිද?´´
´´භවත් ගෞතමයනි, ඔහුට ලැබෙන්නේය, ඔහු වළඳන්නාහුය, මන්ත්‍ර උගන්වන්නෝය, බ්‍රාහ්මණ ස්ත්‍රියක් ඔහුට ලැබෙන්නේය.´´
´´ක්ෂත්රියෝ ඔහු ක්ෂත්රියාභිෂේකයෙන් අභිෂේක කරත්ද?´´
´´නැත භවත් ගෞතමයෙනි´´
´´එයට හේතු කිම?´´
´´භවත් ගෞතමයිනි, මවුපිසින් අසම්පූර්ණ හෙයිනි.´´
25. ´´අම්බට්ඨය, මේ ලෝකයෙහි බ්‍රාහ්මණ කුමාරයෙක් ක්ෂත්රිය කන්‍යාවක හා සහවාසය කරන්නේය. ඔවුන්ට පුත්‍රයෙක් උපදින්නේය. ඒ පුත්‍රයාටද ඉහත සඳහන් කළ මෙන් සිද්ධ වන්නේද?´´
´´භවත් ගෞතමයනි, එසේය.´´
´´ක්ෂත්රියෝ ඔහු ක්ෂත්රියාභිෂේකයෙන් අභිෂේක කරත්ද?´´
´´නැත භවත් ගෞතමයෙනි´´
´´එයට හේතු කිම?´´
´´භවත් ගෞතමයිනි, පියපිසින් අසම්පූර්ණ හෙයිනි.´´
26. ´´මෙසේ අම්බට්ඨය, (බ්‍රාහ්මණ) ස්ත්‍රියක් (ක්ෂත්රිය) පුරුෂයෙක් හා සහවාසවූවාද, (බ්‍රාහ්මණ) පුරුෂයෙක් (ක්ෂත්රිය) ස්ත්‍රියක් හා සහවාස වූයේද, ක්ෂත්රියෝම උසස් වෙත්, බ්‍රාහ්මණයෝ හීනයහ´´
´´අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද? මෙහි බ්‍රාහ්මණයෝ යම් වරදක් නිසා බමුණකු හිස මුඩුකොට අමුඩයක් ගස්වා පහරදී රටින් හෝ නගටයෙන් හෝ පිට කරන්නාහුය. ඔහු බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබන්නේද?´´
´´බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද? ඔහුට මන්ත්‍ර උගන්වත්ද? ඔහුට බ්‍රාහ්මණ ස්ත්‍රියක් ලබාගත හැකිද?´´
´´නැත, භවත් ගෞතමයෙනි´´
27. ´´අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද? මෙහි ක්ෂත්රියෝ යම් වරදක් නිසා ක්ෂත්රියෙකු හිඅ මුඩුකොට හිසේ අළු වත්කොට රටින් හෝ නුවරින් හෝ පිට කරන්නාහුය. හෙතෙමේ බ්‍රාහ්මණයන් අතර අග්‍රාසනය හෝ අග්‍රොදකය හෝ ලබයිද? බ්‍රාහ්මණයෝ මතක, මංගල, යාග, පඬුරු ආදී බත් ඔහු වළඳන්නාහුද? ඔහුට මන්ත්‍ර උගන්වත්ද? ඔහුට ස්ත්‍රියක් ලබාගත හැකිද?´´
´´භවත් ගෞතමයෙනි, ඔහුට ඒ සියල්ල ලැබෙන්නේය.´´
´´අම්බට්ඨය, ක්ෂත්රියයෝ යම් ක්ෂත්රියකු හිස මුඩුකොට හිසේ අළු වත්කොට රටින් හෝ නගරයෙන් හෝ පිට කරත්ද, මෙපමණකින්ම ඒ ක්ෂත්රිය තෙමේ ඉතා පහත් බවට පැමිණියේ වෙයි. එකල්හිත් ක්ෂත්රියෝ උතුම්හ. බ්‍රාහමණයෝ පහත්ය.´´
28. ´´අම්බට්ඨය, සනංකුමාර නම් බ්‍රහ්මයා විසින්ද ගාථාවක් කියන ලදි.´´
´´ලෝකයේ ගෝත්‍රයන් අතුරෙන් ක්ෂත්රියෝ උතුම් වෙත්. දෙවියන් මිනිසුන් අතුරෙන් (විද්‍යාවෙන් ) නුවණින් හා චරණයෙන් සීලයෙන් සම්පූර්ණවූ තැනැත්තා ප්‍රධානයි.´´
´´අම්බට්ඨය, මමත් එසේම කියමි.´´
29. භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්ම කවරේද? ඒ (විද්‍යා) නුවණ කවරේද?´´
´´අම්බට්ඨය, අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියට ජාතිවාදය කියා හෝ ගෝත්රවාදය කියා හෝ මාන්නවාදය කියා හෝ නොකියනු ලැබේ. නුඹ මට සුදුසුවෙයි කියා හෝ නුඹ මට සුදුසු නොවෙයි කියා හෝ යමක් එහි නැත. අම්බටඨය, ස්ත්‍රියක් සරණ පාවා ගැනීම හෝ සරණ පාවා දීම හෝ පාවා ගැනීම් දීම් දෙකම හෝ වෙයිද,එහි ජාතිවාදය හෝ කියාද, ගෝත්රවාදය හෝ කියාද මාන්නවාදය හෝ කියාද ඇත්තේය. නුඹ මට සුදුසුවෙයි යන්නක් හෝ නුඹ මට සුදුසු නොවෙයි යන්නක් හෝ එහි ඇත. අම්බට්ඨය, යම් කෙනෙක් ජාතිවාදයෙහි ගෝත්රවාදයෙහි මාන්නවාදයෙහි මහත් සේ බැඳුනෝ වෙත්ද, ඔවුහු අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තියෙන් දුරුවූවාහුය. අම්බටඨය, ජාතිවාදයෙහි ගෝත්රවාදයෙහි මාන්නවාදයෙහි තරව බැඳීමත්, ආවාහ විවාහයෙහි තරව බැඳීමත් පහකොට අනුත්තරවූ විද්‍යාචරණ සම්පත්තිය අවබෝධ කිරීම වෙයි.´´
30. ´´භවත් ගෞතමයන් වහන්ස, ඒ (චරණ) සීල ධර්මය කවරේද? ඒ (විද්‍යාව) නුවණ කවරේද?´´
(මෙහි 42 පිටේ සාමඤ්ඤඵල සූත්‍රයේ 28 වෙනි ඡේදයේ සිට 59 ඡේදය දක්වා යෙදීමේදී ´´මහරජ´´ වෙනුවට ´´අම්බටඨය´´ යන්නද ´´මෙයද මේ උතුම් ආත්මයෙහිම ඵලයන්ට වඩා උතුම් ඵලයක් වෙයි´´ වෙනුවට ´´මේ ඔහුගේ සීලයකි හෝ විද්‍යාවකි´´ යන්න යොදන්න)
´´අම්බට්ඨය, මේ භික්ෂු තෙමේ විද්‍යාවෙන් (නුවණින්) සම්පූර්ණයයි කියනු ලැබේ. එසේම චරණයෙන් (සීලාදියෙන්) සම්පූර්ණයයිද එසේම විද්‍යාවෙන් හා චරණයෙන් සම්පූර්ණයයිද කියනු ලැබේ. අම්බට්ඨය, මේ විද්‍යා සම්පත්තියට හා චරණ සම්පත්තියට වඩා උතුම් හෝ මිහිරි හෝ අන් විද්‍යා සම්පත්තියක්හෝ චරණ සම්පත්තියක්ද නැත්තේය.´´
31. ´´අම්බට්ඨය, ඉතා උතුම්වූ මේ විද්‍යාචරණ සම්පත්තියට විනාශ දොරටු සතරක් වෙයි. කවර සතරක්ද? අම්බටඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බ්රාහමණයෙක් මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ, ´තපස් පිරිකර ආදිය ගෙන ගස්වලින් වැටුණු ගෙඩිම කන්නෙක් වන්නෙමි´යි ආරණ්‍යයෙහි වනයකට පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවූවහුගේ සේවය (වතාවත්) කරන්නෙක් බවට පැමිණේ. මේ පළමුවැනි විනාශ දොරටුවයි.´´
32. ´´අම්බට්ඨය, නැවතත් මෙහි ඇතැම් මහණෙක් හෝ බ්රාහමණයෙක් ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ, උදැල්ලක් හා කූඩයක් ගෙන ´අල මුල් ගෙඩි කෑම කන්නෙක් වන්නෙමි´යි ආරණ්‍යයෙහි (වනමැදට) පැමිණෙයි. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවූවහුගේ වතාවත් කරන්නෙක් බවට පැමිණේ. මේ දෙවැනිවූ විනාශ දොරටුවයි.´´
´´ඇතැම් මහණෙක් හෝ බ්රාහමණයෙක් ගමක් අසල හෝ නියම් ගමක් අසළ ගිනිදෙවියා පුදන ගෙයක් කොට ගිනි දෙවියා පුදමින් සිටී. හෙතෙම ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්මයෙන් යුක්තවූවහුගේ වතාවත් කරන්නෙක් බවට පැමිණේ. මේ තුන්වෙනිවූ විනාශ දොරටුවයි.´´
33. ´´අම්බට්ඨය, නැවතද මෙහි ඇතැම් මහණෙක් හෝ බ්‍රාහ්මණයෙක් ඉතා උතුම්වූ මේ විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ හතරමං හංදියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට ´´මේ සිවුදිගින් යම් ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් මම ඔහු ශක්ති පරිද්දෙන් උපස්ථාන කරමි´´යි වෙසෙයිද හෙතෙමේ ඒකාන්තයෙන් විද්‍යාචරණ ධර්ම ඇත්තහුගේ සේවය කරන්නෙක්ම වේ. අම්බට්ඨය, මේ වනාහි ඉතා උතුම් විද්‍යාචරණ සම්පදායෙහි හතරවැනි විනාශ දොරටුවයි.´´
34. ´´අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද? මේ උතුම් විද්‍යාචරණ සම්පදායෙහි ගුරුන් සහිතවූ නුඹ පැනෙහිද? (ඔවුන විසින් නුඹ) හික්මවන ලද්දෙහිද? ´´
´´භවත් ගෞතමයන් වහන්ස, එබන්දක් නම් නැත. භවත් ගෞතමයන් වහන්ස, ගුරුවරයෙක් සහිතවූ මම ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙහි බොහෝ ඈත්වූයෙමි.´´
´´අම්බට්ඨය, මේ කාරණා ගැන කුමක් සිතන්නෙහිද? නුඹ මේ අනුත්තරවූ විද්‍යාචරණ සම්පදාවට නොපැමිණෙනුයේ තපස් පිරිකර ආදිය ගෙන ´´ගුරුන් සහිතව, ගස්වලින් වැටුනු ගෙඩි භුක්ති විඳින්නෙක් වන්නෙමි´´යි කියා අරණ්‍යයෙහි (වනයකට) පැමිණෙන්නෙහිද?´´
´´උදැල්ලක් හා කූඩයක් ගෙන නුඹ ගුරුන් සහිතව ´´අල මුල් ගෙඩි කෑම කන්නෙක් වන්නෙමි´´යි ආරණ්‍යයෙහි (වනමැදට) පැමිණෙන්නෙහිද? ගුරුන් සමඟවූ නුඹ ගම් අසල නියම් ගම් අසල ගිනිදෙවියා පුදනා ගෙයක් කොට ගිනි දෙවියා පුදන්නෙක්ව සිටින්නෙහිද?´´
´´නුඹ හතරමං හංදියෙහි දොරටු හතරකින් යුත් ගෙයක් කොට ´´මේ සිවුදිගින් යම් ශ්‍රමණයෙක් හෝ බමුණෙක් හෝ එන්නේ නම් මම ඔහු ශක්ති පරිද්දෙන් උපස්ථාන කරමි´´යි සිටින්නෙහිද?´´
´´එසේත් නැත, භවත් ගෞතමයන් වහන්ස.´´
´´අම්බට්ඨය, මෙසේ ගුරුන් සහිතවූ නුඹ මේ ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවෙන් පිරිහුණෙහිය. ඉතා උතුම් විද්‍යාචරණ සම්පදාවන්ගේ යම් මේ විනාශ දොරටු සතරක් වෙත්ද, එයින්ද ගුරුන් සහිතවූ නුඹ පිරිහුණෙහිය. අම්බට්ඨය, නුඹේ ගුරුවර පොක්ඛරසාති බමුණා විසින් තමන් විද්‍යාචරණ සම්පදාව අඩු තරමින් වත් සම්පූර්ණ නොකරනුයේ ´´මේ පිළිකුල් කල යුතුවූ මුඩුවෝත් මහණෝත් දාසිපුත්රයෝත් හීන ජාතිකයෝත් බ්‍රහ්මයාගේ පාදයෙන් උපන්නෝත් කවරහුද? ත්‍රිවිද්‍යා ඇති බමුණන්ගේ සාකච්ඡාව කවරේද?´´ යන්නකු කියන ලද්දේමය. අම්බට්ඨය, නුඹගේ ගුරුවූ පොක්ඛරසාති බමුණා විසින් නුඹට කරන ලද අපරාධයක මහත බලව!´´
35. ´´අම්බට්ඨය, පොක්ඛරසාති බමුණු තෙමේ පසේනදි කොසොල් රජු විසින් දුන් දෙය අනුභව කරයි. එහෙත් කොසොල් රජු ඔහුට හමුවීමක් පවා නොදෙයි. රජු යම් කලෙක ඔහු හා යම් කරුණු ගැන කථා කරයිද, මුවහත් රෙදි පට අතුරින් කථා කරයි.´´
´´අම්බට්ඨය, පසේනදි කොසොල් රජ ධාර්මිකවූ සිය කැමැත්තෙන් පවරා දෙනු ලබන දන් යමෙකුට පිලිගන්වාද, එසේවූ පොක්ඛරසාතී බමුණාහට කෙසේ නම් තමා හමුවීමට අවසර පවා නොදේද? අම්බට්ඨය, බලව. නුඹගේ ආචාර්යවූ පොක්ඛරසාතී බමුණුහට මේ තරම් නොසැලකීමක්ද?´´
´´අම්බට්ඨය, මේ කාරණය ගැන කුමක් සිතන්නෙහිද? මෙ පසේනදි කොසොල් රජ ඇතෙකු පිට හෝ අසකු පිට හෝ රථාසනයෙහි හෝ හුන්නේ උසස් අමාත්‍යයන් විමසූ හෝ රාජකුමාරයන් සමග හෝ කිසියම් සාකච්ඡාවක් කරන්නේය. ඒ බමුණු තෙමේ ඒ ප්‍රදේශයෙන් පිට ගොස් එක් පෙදෙසක සිටින්නේය. ඉක්බිති ශුද්‍රයෙක් හෝ ශුද්රදාසයෙක් හෝ එන්නේය. ඒ බමුණු තෙමේ එහි සිටියේ එවැනිමවූ මන්ත්‍රණයක් කරන්නේය. කෙසේද? ´´පසේනදි කොසොල් රජ තෙමේ මෙසේ කීයේය. මෙසේත් කීයේය´´යි කියාය.´´
´´ඔහු රජු කීවක් හෝ කියයිද? රජු හා සමග කරුණු විමසා බැලීමක් හෝ කරයිද? මෙපමණකින් හෙතෙමේ රජු හෝ රාජාමාත්යවරයෙක් වන්නේද?´´
´´නැත්මය, භචත් ගෞතමයන් වහන්ස.´´
36. ´´අම්බට්ඨය, එපරිද්දෙන්ම බමුණන්ගේ මුල් ඎෂිහු වූ මන්ත්‍ර කර්තෘහූවූ මන්ත්‍ර පැවැත්වූවාවූ යම් මුල් ගුරුවරයෝ වූවාහුද, වර්තමානයෙහි බමුණෝ යම් කෙනෙකුගේ පුරාණ වේද මන්ත්රයන් (ඔවුන් විසින්) කටපාඩමේ කීම කරණ ලද සේ කටපාඩමේ කීම කරත්ද, කියවන ලද සේ කියවත්ද, රැස් කොට තබන ලද සේ තබද්ද, ඒ අට්ටකය, වාමකය, වාමදෙවය, වෙස්සාමිත්තය, යමතග්ගිය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ඨය, කස්සපය, භගුය යන ආදී ඎෂිවරයන්ගේ මන්ත්රයන් කටපාඩම් කළ මැයි ගුරුවරයා සහිතවූ නුඹ කටපාඩම් කරන්නෙහිය. එපමණකින් නුඹ ඎෂිවරයෙක් හෝ ඎෂි බවට පැමිණියෙක් හෝ වෙහිද? මේ කාරණය නොවිය හැකිය.´´
37. ´´අම්බට්ඨය, මේ ගැන නුඹ කුමකැයි සිතන්නෙහිද? මන්ත්‍ර කර්තෘහු වූ මන්ත්‍ර පැවැත්වූවාවූ යම් මුල් ඎෂිහූ වූහ. මේ කාලයෙහි බමුණෝ යම් කෙනෙකුන් පුරාණ වේද මන්ත්රයන් කටපාඩමේ කීම කලා සේ කටපාඩමේ කීම කරත්ද, කියවන ලද සේ කියවත්ද, රැස් කොට තබන ලද සේ තබද්ද?, පූර්ව ඎෂිහු මනාකොට නෑම කර පිරිසිදු වූවාහු කැපූ කෙස් හා රවුලු ඇත්තාහු, මිණිකොඩොල් අබරණ පැළැන්දාහු, සුදුපිළි හැන්දාහු, පස්කම් ගුණයන්ගෙන් සම්පූර්ණවූවාහූ ගුරුන් සහිතවූ නුඹ දැන් යම්සේද ඔවුහු එවකට එසේ වූහයි වයස්ගතවූ ගුරුවරයන්ගේ ගුරුවරවූ බමුණන්ගෙන් නුඹ අසන ලදද?´´
´´නැත, භවත් ගෞතමයන් වහන්ස.´´
38. ´´ගුරුන් සහිතවූ නුඹ යම්සේද, එසේ ඔවුහු පහකළ කළුපාට ඇට ඇති පිරිසිදු මාංශරසයෙන් යුක්තවූ නොයෙක් හොදි ව්‍යඤ්ජන ඇති ඇල්හාල් බත් කෑම කළහයි අසන ලදද? ඔහු පටපිළි ආදියෙන් සැරසුණු, මෘදු කය ඇති ස්ත්‍රීන් විසින් උපස්ථාන කරනු ලබන්නෝවූහයි අසන ලදද? ඔවුහුද දික් කැවිටිවලින් තළමින් පිළියෙල කොට කැපූ වල්ගා ඇති වෙළඹුන් යෙදූ රථයෙන් හැසිරෙන්නෝවූහයි අසන ලදද? ඔවුහු හෑරුවාවූ අගල් ඇති, තැබූ දොරවල් ඇති, පවුරු පදනම් යොදා ඇති නගරයන්හිත් ආයුධ ගත් පුරුෂයන් විසින් රක්ෂා කරණ ලද්දාහු යයි අසන ලදද?´´
´´නැත, භවත් ගෞතමයන් වහන්ස.´´
´´මෙසේ හෙයින් අම්බට්ඨය, ගුරුන් සහිතවූ නුඹ ඎෂි නොවේ, ඎෂි බවට පිළිපැද්දේත් නොවේ. අම්බට්ඨය, යමෙකුට වනාහි මා කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ වේද, ඔහු මාගෙන් ප්‍රශ්න ඇසූ කල, මම පිළිතුරු දීමෙන් සැක දුරු කරන්නෙමි´´
39. එවිට භාග්‍යවතුන් වහන්සේ නිවාසයෙන් නික්මී සක්මනට වැඩිසේක. එවිට අම්බට්ඨ තරුණයා තෙමේත් (ගන්ධකුටි) නිවාසයෙන් නික්මී සක්මනට ගියේය. ඉක්බිති අම්බට්ඨ තරුණයා භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරනුයේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහා පුරිස් ලකුණු පරීක්ෂා කළේය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙකක් හැර සෙසු සියලු මහා පුරුෂ ලක්ෂණයන් දුටුයේය. එනම් ´´කෙසොහිතවන්ථතුය්හ´´ , ´´පහූත ජිව්හතා´´ යන දෙකෙහි සැක කරයි, තීරණයකට නොපැමිණෙයි, ඔහුගේ සිත නොපහදී. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා යම්සේ කෙසොහිතවන්ථතුය්හය දකීද, එබඳුවූ ඎද්ධි විශේෂයක් කළසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරකොට දෙකන් සිදුරු හා දෙනාසා සිදුරු ස්පර්ශ කෙළ්ය. නැවත නැවත ස්පර්ශ කෙළේය. නළල් තලය සම්පූර්ණයෙන් දිවින් වැසුවේය.
එවිට අම්බට්ඨ තරුණයාහට මෙබඳු සිතක් පහළ විය. ´´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්තය, සම්පූර්ණය, අසම්පූර්ණ නොවේ´´ මෙසේ සිතා තරුණයා ´´යහපත, භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යමු. අපි අවශ්‍යයෙන් කළයුතු බොහෝ කටයුතු ඇත්තෝ වමු´´යි භාග්‍යවතුන් වහන්සේට කීය.
´´අම්බට්ඨය, ගමනකට කාලය නුඹම දනුවයි´´ බුදුහු කීයෝය. එවිට අම්බට්ඨ තරුණයා වෙළඹුන් යෙදූ රථයට නැගී පිටත්ව ගියේය.
40. එකල පොක්ඛරසාති බමුණු තෙමේ උක්ඛට්ඨාවෙන් නික්ම මහත් බ්‍රාහ්මණ සමූහයක් සමග තමන්ගේ ආරාමයෙහි අම්බට්ඨ තරුණයා ගැන බලාපොරොත්තු වෙමින් හුන්නේය. මේ වේලෙහි අම්බට්ඨ තරුණයාත් එහි පැමිණියේය.
41. ´´කිම දරුව, අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන් දුටුයේද?´´
´´එසේය, ස්වාමීනි.´´
´´කිම දරුව, අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූම කීර්ති ඝෝෂාවක් උස්ව නැංගේද, නැත්නම් එසේ නොවේද? ඒ භවත් ගෞතම තෙමේ එබඳුද, නැත්නම් එබඳු නොවේද?´´
´´ස්වාමීනි, ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳුමය. සම්පූර්ණවූ දෙතිස් මහ පුරිස් ලකුණු වලින් ඒ භවත් ගෞතමයන් වහන්සේ යුක්තයහ.´´
´´දරුව, අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග නුඹේ කෙබඳු කථාවක් නම් වූයේද?´´
ඉක්බිති අම්බට්ඨ තරුණයා යම් කථාවක් භාග්‍යවතුන් වහන්සේ සමග වූයේනම් ඒ සියල්ල පොක්ඛරසාතී බමුණු හට කීයේය.
42. එසේ කී කල පොක්ඛරසාතී බමුණු තෙමේ අම්බට්ඨ තරුණයාහට මෙසේ කීයේය. ´´අනේ හොඳයි, අපගේ පණ්ඩිත නම්බුකාරායා, බොහෝ ශිල්ප ශාස්ත්‍ර දැනීමෙහි නම්බුකාරයා, ත්‍රිවිද්‍යා නම්බුකාරයා, මෙබඳුවූ හිතවතෙකු යම් මිනිසෙකුට ඇතිවූවොත් ඒ මිනිසා මරණින් පසු අපාය නම්වූ නපුරු ගති ඇති, දුක්වූ නිරයෙහිම උපදින්නේය.´´
´´අම්බට්ඨය, නුඹ ඒ භවත් ගෞතමයන් ගට ගටා බැන්නෙහිය. එවිට භවත් ගෞතම තෙමේත් අප පිළිබඳ යටගිය තතු සියල්ල මතුකොට කීය´´ කියා කිපුණේ නොසතුටු වූයේ අම්බට්ඨ තරුණයා පයින් ගසා බිම හෙලීය. එකෙණෙහිම භාග්‍යවතුන් වහන්සේ දකින්ට යෑමට ඔහූ තුළ කැමැත්තක් විය.
එකල්හි පොක්ඛරසාතී බමුණු තෙමේ ස්වකීය ගෘහයෙහි මිහිරි කෑ යුතු දේ පිළියෙල කරවා රථයක හිඳ පන්දම් එලියෙන් උක්කට්ඨාවෙන් පිටත්ව ඉච්ඡානංගල වන ලැහැබට පැමිණියේය. යානයෙන් යා හැකි තෙක් එයින් ගොස් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සිහිකටයුතු සතුටු දායක කථා කොට පැත්තකින් උන්නේය. එක පැත්තකින් හුන් පොක්ඛරසාතී බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
´´භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා සමග කෙබඳුවූ කවර නම් කථාවක් වුයේද?´´
එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ තරුණයා සමග යම් පමණ ප්‍රශ්නෝත්තර කථාවක් වූයේ නම් ඒ සියල්ල පොක්ඛරසාතී බ්‍රාහ්මණයාට කීහ. එසේ කී කල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයා බාලයෙකි. භවත් ගෞතමයන් වහන්ස, අම්බට්ඨ තරුණයාට ක්ෂමාවන සේක්වා.´´
´´බ්‍රාහ්මණය, අම්බට්ඨ තරුණයා සුවපත් වේවා.´´
43. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ අම්බට්ඨයා මෙන්ම එය භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහ පුරිස් ලකුණු විමසා දුටුයේය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්ත බව දැන ගත්තේය. ඔහු මෙසේ කීයේය. ´´භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා සමග අද දානය පිළිගනිත්වා.´´ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් පිළිගත්සේක.
44. ඉක්බිති පොක්ඛරසාතී බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනීම දැන, ´´භවත් ගෞතමයන් වහන්ස, දානය සූදානම්ය, දැන් කාලයයි´´ වළඳන්නට කාලය දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ උදය කාලයේ හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙණ භික්ෂු සමූහයා සමග පොක්ඛරසාතී බමුණාගේ භෝජන ස්ථානයට වැඩියේය. එහි පැමිණ, පැනවූ ආසනයෙහි වැඩ උන්නේය. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ තමන්ගේ අතින්ම පිළිගන්වා හොඳින් මිහිරිවූ සුදුසු ආහාරයෙන් භාග්‍යවතුන් වහන්සේ වැළඳවූහ. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ වළඳා අවසන්ව පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙත කුඩා ආසනයක් ගෙණ පැත්තකින් හුන්නේය.
45. භාග්‍යවතුන් වහන්සේ එසේ හුන් පොක්ඛරසාතී බමුණාහට දාන කථාවය, සීල කථාවය, ස්වර්ග කථාවය, කාමයන්ගේ වැරුද්ද හා කෙලෙසෙන බවය, පහත් බවය, මහණවීමේ උතුම්කමය යන ධර්ම දේශනා කෙළේය. භාග්‍යවතුන් වහන්සේ යම් ඇසිල්ලෙක පොක්ඛරසාතී බමුණාතුළ සුදුසුවූ, මෘදුවූ, බාධා නැති ප්‍රීතිය වැඩීගිය, ප්‍රසන්නවූ සිත ඇතිවීයයි දැන ගත්තේ නම්, එකල දුකය, දුක ඉපදීමේ හේතුවය, නිවනය මාර්ගය යන බුදුවරයින් තමන් විසින්ම අවබෝධ කළ උතුම් සත්‍ය ධර්ම හතර ප්‍රකාශ කෙළේය. යම්සේ කළුපාටනුවූ පිරිසිදුවූ වස්ත්‍රයක් මනාකොට සායම් පිළිගන්නේද එපරිද්දෙන්ම පොක්ඛරසාතී බමුණාහට ඒ හුන් ආසනයෙහිම යම් කිසිවක් උපදනා ස්වභාව ඇත්තේද ඒ හුන් ආසනයෙහිම යම් කිසිවක් උපදනා ස්වභාව ඇත්තේය´´ යන පහවූ කෙලෙස් දූවිලි ඇති සෝවාන් මාර්ග ඥානය (දහම් ඇස) උපන්නේය.
46. එවිට පොක්ඛරසාතී බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ´´භවත් ගෞතමයන් වහන්ස, පැහැදුනෙමි, ඉතා පැහැදුනෙමි. භවත් ගෞතමයන් වහන්ස, මේ මම දරුවන් හා භාය්‍ර්‍යාවද, පිරිස් හා අමාත්‍යයන්ද සමග භවත් ගෞතමයන් වහන්සේද, ධර්මය හා සංඝයාද සරණකොට යෙමි. භාවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිතෙක් සරණ ගිය උපාසකයෙකු කොට පිළිගන්නා සේක්වා. මෙසේ භවත් ගෞතමයන් වහන්සේ උක්කට්ඨා නුවර සෙසු උපාසක කුලයන් වෙත වඩින සේක් නම් එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ පොක්ඛරසාතී පවුලටත් වඩිත්වා. එහි යම් ඒ තරුණයෝ හෝ තරුණියෝ හෝ භවත් ගෞතමයන් වහන්සේට වැඳ ගෞරව හෝ කරත්ද, දැක හුනස්නෙන් නැගිටීම හෝ කරත්ද, ආසන හෝ දිය හෝ දෙත්ද, සිත හෝ පහදවත්ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි සිත පිණිස සුව පිණිස වන්නේය.´´
´´බමුණ, (ඔබ විසින්) යහපත් කාරණයක් කියන ලදි.´